අවුරුදු 13දී ලොව දකින්න වරම් ලද ජීවන්ත පුතා (VIDEO)

July 29, 2021 at 8:26 AM

ගලෙන්බිඳුණු වැව, පලුගොල්ලෑගම ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි ජීවන්ත රත්නායක දරුවාගේ ඇසක් නොපෙනීම සම්බන්ධයෙන් ඔහු විසින් සමාජ මාධ්‍යය හරහා සිදුකළ ඉල්ලීමක් අනුව ඔහුට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම මැතිණිය පසුගිය කාලයේදී කටයුතු කරනු ලැබුවා.

එම දරුවාගේ ඉදිරි තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහාතාගේ ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි මේ..

මගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මැදිහත් වීම මත ලොව දකින්නට වාසනාව උදාකර ගත් උපතින්ම දෑස් පෙනීම අහිමිව සිටි ගලෙන්බිඳුණු වැව, පලුගොල්ලෑගම ජීවන්ත රත්නායක පුතා ඊයේ (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මා හමු විය.

දහතුන් වියැති ජීවන්ත රත්නායක ඇසක් ඉල්ලා නගන හඬ සමාජ මාධ්‍යජාලා ඔස්සේ දුටු රෝහිත පුතා ඒ බව ශිරන්තිට දන්වා තිබිණි. මෙම දරුවාගේ පිහිටට ශිරන්ති ඉදිරිපත් වන්නේ ඉන් පසුවයි.

ජීවන්ත පුතා කොළඹට ගෙන්වා ගෙන මෙරට සිටින දක්ෂතම විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ගණනාවකට ම යොමු කිරීමට ශිරන්ති කටයුතු කළා. එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඇසක් බද්ධ කිරීමකින් තොරව මේ දරුවාගේ එක් ඇසකට පෙනීම ලබා දීමට හැකි බවට වූ විශේෂඥ වෛද්‍ය නිර්දේශ අනුව ප්‍රතිකාර ආරම්භ විය.

ඒ සඳහා අවස්ථා කිහිපයක දී ම දරුවා කොළඹට ගෙන්වා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට මගේ බිරිඳ කටයුතු කළාය. ජීවන්ත රත්නායක පුතාට ලොව දකින්නට වරම් ලැබුණේ ඒ අනුවය.

මා හමුවීමට සිය පුතා සමග පැමිණි ඔහුගේ පියා ඒ. සුගතපාල මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

“දරුවාගේ ඇස් උපතින් ම පෙනුණේ නැහැ. ඒ නිසා පුතා ගොඩක් අපහසුතාවලට පත් වුණා. අපි හරි දුප්පත් අපිට දරුවගේ ඇස් සනීප කරගන්න තරම් වත්කමක් නැහැ. මේ අතරතුර තමයි ශිරන්ති රාජපක්ෂ මැතිනිය මගේ පුතාගේ ඇස් දෙක සනීප කරන්න උදව් කරන්න ඉදිරිපත් වුණේ.
පසුව එතුමිය කොළඹ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකුට පුතාව යොමු කරලා බෙහෙත් කරන්න පටන් ගත්තා. කියන්න සතුටුයි දැන් මගේ පුතාට ඇස් පේනවා. බයිසිකලේ අරගෙන ගේ වටේ පැදගෙන යනවා. පොත් බලනවා. දැන් පුතා එයාගේ වැඩ තනියම කරගන්නවා. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. පුතා අනුරාධපුර රියන්සි අලගියවන්න විශේෂ පාසලේ ඉගෙන ගන්නවා. මේක මහා උතුම් පුණ්‍යකර්මයක්”
ජීවන්ත පුතාගේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.