නිරෝෂන්, ධනුෂ්ක සහ කුසල් ගේ විනය පරීක්ෂණය

July 28, 2021 at 12:01 PM

නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ගේ විනය පරීක්ෂණ මෙම මස 29 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එංගලන්ත සංචාරයේදී නිරෝධායන රීති කඩ කිරීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පවත්වනවා.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර ඇත.

වාර්තා වන පරිදි ක්‍රීඩකයින් තිදෙනාම අදාළ දිනයේදී විමර්ශනයට පෙනී සිටීමට සුදානමින් සිටින අතර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් සමාව අයැදමින් කමිටුව වෙත ලිපිද යොමු කර ඇති බව සඳහන්.

ඉකුත් ජුනි මස 27 වෙනිදා එංගලන්තයේ Durham හි විදියක ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් සැරි සරමින් සිටින අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවූ වීඩියෝවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩයමේ ජෛව බුබුල බිඳ දැමීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වුවා.

මෙම සිදුවීමත් සමග සමාජ මාධ්‍ය තුල විශාල කැළඹීමක් ඇතිවූ අතර ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින් ගෙන් දැඩි විවේචන එල්ලවිය.

මෙම ක්‍රීඩකයින් සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයෙන් අනතුරුව ජාතික ක්‍රිකට් කණ්ඩායම තුල ඔවුන්ගේ ඉදිරි ගමන්මග සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතයි.