කාන්තාවකගෙන් ලක්ෂ 07ක් කප්පම් ගැනීමට පැමිණි දෙදෙනෙකු අ’ ත්අඩංගුවට

July 28, 2021 at 3:09 PM

කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 07 ක කප්පමක් ලබාගැනීමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කප්පම් මුදල ලබා ගැනීම මෙහෙයවා ඇත්තේ දැනට එංගලන්තයේ පදිංචිව සිටින යාපනය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

එම පුද්ගලයා අදාළ කාන්තාව සමඟ වසර දෙකක පමණ කාලයක් වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම කාල සීමාවේදී එම පුද්ගලයා විසින් වට්ස්ඇප් හරහා අවස්ථා කිහිපයේදී මෙම කාන්තාවගේ අසභ්‍ය ජායාරූප ද ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුව මොවුන් දෙදෙනා අතර ඇතිවූ අමනාපයක් මත ඔහු විසින් මීට පෙර අවස්ථාවකදී අදාල කාන්තාවගේ ලබාගෙන තිබු අසභ්‍ය ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසා රුපියල් ලක්ෂ 17 ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව එම කාන්තාව විසින් රුපියල් ලක්ෂ 07ක මුදලක් ලබා දීමට එකඟ වී ඇති අතර එංගලන්තයේ සිටින ප්‍රධාන සැකකරු විසින් එම මුදල ලබා ගැනීමට එවූ මෙරට පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු එලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.