ඩොලර් බිලියනයක විදෙස් ණය ගෙවයි : ඉදිරි මාස 03 තුලදී රටට විදේශ විනිමය එන හැටි ඇමති කබ්රාල් කියයි

July 27, 2021 at 11:32 AM

ඉදිරි මාස 03 තුලදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න මුදලක් අපේක්ෂා කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටිනවා.

විපක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම අස්ථාවර තත්ත්වයක පවතින බව හුවා දැක්වීමට කටයුතු කරමින් සිටින බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

“මේ අවස්ථාවේදී වඩාත්ම වැදගත් වන්නේ මුදල් ගලාගෙන යාම බවත් නිශ්චිත කාල රාමුව තුල පවතින සංචිත මට්ටම නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ. සංචිත මට්ටමේ තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි බව හොඳින් දන්නා බැවින් පළපුරුදු මූල්‍ය කළමනාකරුවන් මුදල් ප්‍රවාහයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන නමුත් මුදල් ප්‍රවාහය සාර්ථකව කළමනාකරණය කළ හොත් කිසිදු අස්ථාවරත්වයක් ඇති නොවන බවයි” රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

සෑම විදේශ විනිමය ණය ආපසු ගෙවීමක් සහ පොලී ගෙවීමක් නියමිත වේලාවට සිදු කර ඇති අතර, එහි පවත්නා සංචිත පරිස්සමින් කළමනාකරණය කිරීම මෙන්ම අපේක්ෂිත ගලා ඒම් සහ පිටතට ගලා යෑම තුළින් ශ්‍රී ලංකාව සිය බාහිර මුදල් ප්‍රවාහයන් සකස් කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටියා.

විදේශ විනිමය ලැබීම අනුව ඉදිරි මාස 3 තුලදී රටට ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න මුදලක් ලැබීමට නියමිත බව ඔහු කියා සිටියා.

එම ඩොලර් සංචිත ලැබීමට නියමිතව ඇත්තේ

  1. ඉන්දීය SWAP පහසුකම: ඇ.ඩො.මි 400
  2. බංගලාදේශ්‍ SWAP පහසුකම: ඇ.ඩො.මි 250
  3. චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය: ඇ.ඩො.මි 300
  4. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට විශේෂ අයිතිවාසිකම් ප්‍රධානය: ඇ.ඩො.මි 800
  5. විදේශ විනිමය වෙළෙඳපොළෙන් මහ බැංකුව මගින් නියමිත මිලදී ගැනීම්: ඇ.ඩො.මි 200
  6. දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කර (ISB) වලින් ලැබෙන මුදල්: ඇ.ඩො.මි 300
  7. ඌන උපයෝජිත වත්කම් උපයෝගීකර ගැනීමෙන් ලබාගැනීමට අපේක්ෂිත ගලා ඒම්: ඇ.ඩො.මි 400 ලෙසයි..

ජූලි 27 වන දින ඇමරිකානු ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවීමෙන් පසු මෙරට තුල වත්මන් විදේශ විනිමය සංචිත ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරි මාස කිහිපය තුළ පවතින සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.