ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම ලබන අයවැයෙන්

July 27, 2021 at 7:44 AM

ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම ලබන අයවැයෙන් සිදුකිරීම සඳහා අවධානය යොමු කිරීමට ඇමැති මණ්ඩලය ඊ​යේ (26) රාත්‍රියේ තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්විණි. ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීමට සුදුසු බවට ඇමැති මණ්ඩල එකඟතාව පළ වුව ද ඒ පිළිබඳව ගුරු සංගම් සමග අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීන්දු කෙරුණා.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර​යේදී සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. මහාචාර්ය ජී.එල්. පීරිස්, රමේෂ් පතිරණ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ද ඊට එක්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ලබාගැනීමට ද තීන්දු විය. සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව ද මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත්තේ. එය අයවැයෙන් සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ඔහු අනාවරණය කර ඇත.

( උපුටා ගැනීම : අරුණ පුවත්පතෙන්)