දේශීයව නිපදවූ සේලයින් සැප්තැම්බර් 01 වෙනිදා සිට

July 26, 2021 at 10:46 PM

දීර්ඝ කලක සිට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ බලාපොරොත්තුවක් වූ “දේශීය සේලයින්” නිෂ්පාදනය සැබෑ කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සැප්තැම්බර් 01 වෙනිදා දින සිට රාජ්‍ය අංශයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය අද හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව සැප්තැම්බර් මස 1 දින සිට සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ, මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මඟින් ඇතුල් කරන මූලික නික්ෂේපන ද්‍රාවණ [Sterile Liquid Large Volume Parentals] සියල්ල කුණ්ඩසාලේ කර්මාන්ත උද්‍යානයේ කර්මාන්තශාලාවක නිෂ්පාදනය කර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා (SPMC) ලාංජනය යටතේ රෝහල්වලට සැපයෙනු ඇත.

සේලයින් ඇතුළු මූලික නික්ෂේපන ද්‍රාවණ මිලදී ගැනීමට පමණක් දිනකට රජය රුපියල් ලක්ෂ 50 වැය කරයි. මෙතෙක් කල් එම මුදල ඩොලර් ලෙස විදේශ වෙත ඇදී ගියේය. දේශීය නිෂ්පාදනය මගින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 5 ක පමණ ශුද්ධ ඉතිරියක් ලඟාකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන අතර සේලයින් බෝතල් මිලියන 25 ක් වාර්ෂිකව අපනයනය කිරීමට ද සැලසුම් කර ඇත.