අත්අඩංගුවට ගනු ලැබූ මන්ත්‍රී රිෂාඩ් ගේ බිරිඳ ඇතුළු පිරිස අද අධිකරණය හමුවට

July 24, 2021 at 8:16 AM

 

දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සීම් තුවාල ලබා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ බිරිඳ ඇතුළු තිදෙනා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඊයේ සවස ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර ඔවුන්ව අද දිනයේදී කොළඹ අලුත්කඩේ අංක 02 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

16 හැවිරිදි එම දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය නිවසට රැගෙන ආ තැරැව්වරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මන්ත්‍රීවරයාගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි දැනට 22 හැවිරිදි වියේ පසුවන තරුණියක්ද අවස්ථා දෙකකදී දූෂණයට ලක්වී ඇති බවට ද තොරතුරු අනාවරණය වූ අතර මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් මන්ත්‍රීවරයාගේ බිරිදගේ සහෝදරයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුව ද අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.