ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් මෙරට COVID-19 එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට දායක වෙයි

July 20, 2021 at 1:49 PM

Standard Chartered Sri Lanka steps up for clients affected by COVID-19  pandemic - Adaderana Biz English | Sri Lanka Business News

ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා (Standard Chartered Sri Lanka), ලංකා බැංකුව සහ මහජන බැංකුව සමග එක්ව, COVID-19 එන්නත් මාත්‍රා මිලියන 4 ක් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෙළඳ ණය පහසුකම් සලසා දීමට කටයුතු කර තිබේ.

COVID-19 නවතම රැල්ල හමුවේ ජාතික එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව මෙම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකු දෙක සමඟ එක්ව කටයුතු කළ අතර, එන්නත් මිලදී ගැනීමට අදාළ ඉන්වොයිසි පිරිසැකසුම් සහ ගෙවීම් ක්‍රියාවලි වේගවත් කිරීම සඳහා කඩිනම් හා කාර්යක්ෂම වෙළඳ මූල්‍ය විසඳුම් සැපයීමට පියවර ගත්තේ ය.

“ලෝකයට වඩාත් යහපත් හෙට දවසක් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි වන ආකාරයට, COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහි ගෝලීය සටන ජයගැනීම සඳහා හැකි උපරිමයෙන් දායක වීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් කටයුතු කර තිබෙනවා. මෙම රෝගය මුලින්ම ශ්‍රී ලංකාව තුළ පැතිර යාම ආරම්භ වූ අවස්ථාවේදී, දිවයින පුරා හදිසි සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සමාජය වෙත ඇමරිකානු ඩොලර් 500,000 ක පරිත්‍යාගයක් සිදුකිරීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් කටයුතු කළා. මෙම වෙළඳ ණය පහසුකම, ශ්‍රී ලංකාවාසීන්ට මෙම වසංගත තත්ත්වයෙන් මිදීමට උපකාරී වීම සඳහා අප දරන උත්සාහයේ ඉදිරි පියවරක් වන අතරම එය අපගේ ප්‍රතිඥාව වන ‘here for good’ යන්න නැවත වරක් තහවුරු කිරීමක් ලෙසත් හැඳින්විය හැකියි.” ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී බිඟුමල් තෙවරතන්ත්‍රී මහතා පැවසී ය.

ශ්‍රී ලංකාව තුළ COVID-19 රෝගය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් එන්නත් ආනයනය කිරීමට මූල්‍ය පහසුකම් සපයා දීම සඳහා දරන ලද සාමූහික උත්සාහය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා හි විධායක අධ්‍යක්ෂ සහ මූල්‍ය ආයතන ප්‍රධානී ලක්ෂාන් ගුණතිලක මහතා මෙසේ පැවසී ය. “එන්නත්කරණ වැඩසටහන පුළුල් කිරීමට අත්වැලක් වීම සඳහා ලංකා බැංකුව සහ මහජන බැංකුව සමග එක්වී මෙම වෙළඳ ණය පහසුකම ලබාදීමේ වැඩපිළිවෙළට හවුල් වීමට හැකිවීම අපට මහත් සතුටක්. වෙළඳපොළේ ප්‍රමුඛයන්ගෙන් සමන්විත අපගේ ශක්තිමත් බෙදාහැරීම් ජාලයත් මෙම එන්නත් රට තුළට රැගෙන ඒමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකළා.”

මෙම අනපේක්ෂිත ගෝලීය අභියෝගය හමුවේ, සමාගම් සඳහා, ලාභ අරමුණු කර නොගත් මූල්‍ය පහසුකමක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් වෙන්කිරීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් සමූහය 2020 මාර්තු මාසයේදී තීරණය කළ අතර, මේ දක්වා ලොව පුරා සමාගම්වලට වසංගතයට එරෙහි සටනට අත්‍යවශ්‍ය උපකරණ නිෂ්පාදනය සහ තිරසාර මූල්‍ය සම්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800 කට අධික මුදලක් ලබා දී ඇත.

මේ යටතේ ප්‍රතිපාදන ලබාගත් මුල්ම දකුණු ආසියාතික රට බවට පත්වූ ශ්‍රී ලංකාව මේ වනවිට මෙම අරමුදල වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 45 කට අධික මුදලක් ලබාගෙන තිබේ. මෙම ආධාර තුලින්,  පෞද්ගලික ආරක්ෂක උපාංග නිපදවන සමාගම් වලට මුහුණු ආවරණ හා අත්වැසුම් වැනි උපාංග නිපදවීමේ හැකියාව පුළුල් කිරීමට හැකිවී ඇති අතර, වසංගතය නිසා බලපෑමට ලක්වූ ඇඟලුම් නිෂ්පාදකයන්ට පෞද්ගලික ආරක්ෂක උපාංග නිපදවා ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලට අපනයනය කිරීමට අවස්ථාව ලැබී ඇත.