ඔට්ටමාවඩි සුසාන භුමිය ගැන අධිකරණ ඇමතිවරයා තැබූ ෆේස්බුක් සටහන

July 11, 2021 at 7:56 PM

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් භූමදානය සිදුකරනු ලබන ඔට්ටමාවඩි සුසාන භූමිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

වෛරසය ආසාදනය වී මියගිය අයවෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමේ අයිතිය සහකම්පනයෙන් යුක්තව විසදීමට කැපවු සියලු දෙනා ආවර්ජනය කරමින් අද අප සිටින ස්ථාවරය පිළිබද කෘතවේදී වීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවයි මෙහිදී අමාත්‍යවරයා සිය සටහනේ දක්වා ඇත්තේ.

අධිකරණ අමාත්‍යවරයා තබා තිබු ෆේස්බුක් සටහන පහතින් දැක්වේ..

ඔට්ටමාවඩි සුසානභූමිය !!!

අකාලයේ අප අතරින් සමුගත් මෙරට පුරවැසියන්ගේ මතක ස්මාරකයන් අතරින් ඇවිද යන මා හට බොහෝ විට, අප සියලු දෙනා ගෙවා දැමූ පසුගිය වසරක කාලය කොතරම් දුෂ්කර සමයක් වූවා දැයි සිතෙන වාර අනන්තය. යතාර්ථය නම්, හුදු වෛරසයක් සම්බන්ධයෙන් ඈත රටකින් ඇසුණු පුවතක් මේ වන විට අප අර්බුධකාරී තත්වයකට ඇද දමා ඇත්තේ අප සියලු දෙනා අසරණ කරමිනි.

මේ වනවිට ලෝකය පුරා ඉතා දරුණු ලෙස පැතිරී යන කොවිඩ් 19 වසංගතය අප සියලු දෙනාටම වියෝවන්ගෙන් පිරුණු ඉතා දුශ්කර යුගයක් උදා කර දී ඇත. තම ආදරණීයෙකුගේ අහිමි වීමේ වේදනාව අතරින් මියගිය තම ආදරණීයයන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමේ අයිතිය සහකම්පනයෙන් යුක්තව විසදීමට කැපවු සියලු දෙනා ආවර්ජනය කරමින් අද අප සිටින ස්ථාවරය පිළිබද කෘතවේදී වීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

අසීරු අවස්ථා වලදී සියලු දෙනාගේම අයිතීන් හා අදහස් වලට ගරු කරමින් නිසි අවස්ථා වල සුදුසු හා සාධාරණ තීන්දු තීරණ ගනු ලැබූ සියලු දෙනාට ද, තම සාධාරණ ඉල්ලිම් වෙනුවෙන් අවසානය දක්වා පෙනී සිටි සියලු දෙනාට ද, අප අතරින් වෙන් වූ සහෘදයන්ට අප මාතෘභූමියේ මිහිදන් වන්නට බිම් අඟලක් හෝ ලබා දුන් පරාර්ථකාමී මිනිසුන් සියලු දෙනාට ද මම ශ්‍රි ලාංකිකයකු ලෙස මේ අවස්ථාවේදී කෘතවේදී වෙමි.

අපගේ මෙලොව ජීවිතකාලය කොතරම් කෙටිද යත් එය එකිනෙකා කෙරේ තරහින් සහ වෛරයෙන් නාස්ති කිරීමට තරම් නොවේ.

මරණයෙන් අප උගත්තේ ජීවත්වන්නන් අතර සාමය, සමගිය හා සහකම්පනය පැවතීමේ අත්‍යාවශයතාවයයි.

මහපොලොවෙන් බිහි වූ අප යම් දිනෙක මහපොලොවටම දිරාපත්ව යනු ඇත.

සියලු සත්ත්වයෝ නිදුක්වෙත්වා ! නීරෝගී වෙත්වා !
දුකින් මිදෙත්වා !!!