‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ ඉදි වූ පළමු සන්නිවේදන කුළුණ, ඩයලොග් ආසියාටා හී මුලපිරීමෙන් ඇඹිලිපිටිය, කච්චිගලදී විවෘත වෙයි

July 8, 2021 at 12:03 AM

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සහ  ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා විසින් ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ ඉදි වූ පළමු සන්නිවේදන කුළුණ කච්චිගලදී විවෘත කළ අයුරු.

ශ්‍රී ලංකාවේ පුළුල්තම ජාලයට හිමිකම් කියන ඩයලොග් ආසිආටා පී.එල්.සී, මෙරට ඈත ගම් දනව් දක්වා සිය ආවරණය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් වන තම කැපවීම තවදුරටත් පෙරට රැගෙන යමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන හා මුලපිරීම ඇඹිලිපිටිය, කච්චිගලදී සටහන් විය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ වන ව්‍යාප්ත කිරීම්ද ඇතුළුව, ඉදිරිය මාස 6ක කාලය තුළ රටේ දුෂ්කර ප්‍රදේශ ආවරණය වන සේ නව සන්නිවේදන කුළුණු 450ක් ඉදිකරමින්, මෙරට සියලුම ජනතාව ආවරණය කිරීමේ ඉලක්කයෙන් යුතුව ඩයලොග් ක්‍රියාත්මක වේ. ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලබාගත් මෙ සාර්ථක ආරම්භයත් සමගින් එහි ඉදිරි පියවර යටතේ කුරුණෑගල, රත්නපුර, මාතර, අනුරාධපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ආවරණයන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

මෙම අනපේක්ෂිත කාල වකවානුව තුළ පාරි‍භෝගික අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ පරිශ්‍රමයක යෙදෙමින් මෙම වසංගත සමයේ මේ දක්වා නව කුළුණු 515ක් ස්ථාපිත කළ ඩයලොග්, මෙරට වැඩිම සන්නිවේදන කුළුණු හිමි ජාලය වශයෙන් වන සිය වාර්තාව 4000 වැනි 4G කුළුණ දක්වා පෙරට රැගෙන යෑමට පසුගියදා සමත් විය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මෙම ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන හරහා ඈත ගම් දනව්වල සිය ආවරණය ඉහළ නංවන අතරවාරයේ ඩයලොග් සමාගම විසින් මෙරට පාසල් දරුවන් 100,000ක් වෙත ඔවුන්ගේ මාර්ගගත අධ්‍යාපන වෑයමට සවියක් වෙමින් ‘නැනදිරි ඩේටා ශිෂ්‍යත්ව’ වැඩසටහන හරහා ඩේටා ශිෂ්‍යත්ව ද පිරිනමනු ලබයි. එසේම මෙරට දැවැන්තම සෘජු විදෙස් ආයෝජකයා බවට පත්වෙමින් මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක සමස්ත ආයෝජනයක් සිදු කර ඇති ඩයලොග්, 2021 වසරේදී අදාළ යටිතල පහසුකම් නැංවීම උදෙසා ඇමරිකානු ඩොලර් මිලියන 207ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ. දැනට සිදුකරමින් පවතින මෙම ආයෝජනය 2020 පෙබරවාරි මාසයේදී, ආයෝජන මණ්ඩලය සමඟින් ගිවිස ගත් ඇමරිකානු ඩොලර් මිලියන 254.1ක අයෝජනයේ කොටසකි.

මෙම ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන හා ඩයලොග්හී මුලපිරීම සටහන් වන මොහොතේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා ‘මෙම ‘ගමට සන්නිවේදනය’ වැඩසටන ඇරඹුම මගින් රටේ ඈත පිටිසර පෙදෙස් වෙත ආවරණය සැපයීම වෙනුවෙන් අවශ්‍ය සබඳතා යටිතලය සැකසීමට අප කටයුතු යොදනවා. මෙම දැක්ම යථාර්ථයක් කරගැනීම සඳහා වහ වහා කටයුතු කිරීම වෙනුවෙන් අපි ඩයලොග් වෙත ස්තුතිවන්ත වෙන අතරම ග්‍රාමීය ජනතාවට ඩිජිටල් පහසුකම් සපයාදීම වෙනුවෙන් අද අපි බොහෝ සමීපව කටයුතු කරනවා.මෙම මුලාරම්භය හරහා සිසුන්ගේ ඊ-ලර්නින් ප්‍රයත්නයන්ට සහයවීමට හැකිවීම මෙන්ම කච්චිගල ජනතාවගේ දියුණුවට මහත් රුකුලක් වීමට හැකිවීම අපට සතුටක්’ යැයි පවසන ලදි.

ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා අදහස් දක්වමින් ‘ග්‍රාම නිලධාරී කොට්ඨාශ 7ක් ආවරණය වන සේ කච්චිගල ප්‍රදේශයේ ජනතාවට සිය අධ්‍යාපන කටයුතු සහ රැකියා අභිලාෂයන් නංවාලීම වෙනුවෙන් විශ්වාසනීය සබඳතාවකට ප්‍රවේශය ලබාදීමට හැකිවීම ගැන අපි සතුටට පත්වෙනවා. අපගේ මෙම ප්‍රයත්නයට පහසුකම් සැපයීම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අපේ ස්තුතිය පිරිනැමෙන අතරම, සෑම ශ්‍රී ලාංකිකයෙකු එකිනෙකා හා යා වූ ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අපගේ පොදු දැක්ම යථාර්ථයක් කරගැනීම වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් සහයෝගයෙන් යුක්තව කටයතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහනට අමතරව ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජකයා ලෙසින් ඩයලොග් සමාගම 2020 වසරේ මෙම වසංගත තත්ත්වය හටගැනීමේ සිට රුපියල් බිලියන 50කට වැඩි මුදලක් ආයෝජනය කරමින් රටෙහි ජංගම දුරකථන සහ ස්ථාවර සම්බන්ධතා යටිතල පහසුකම්  නංවමින් අප පාරිභෝගිකයන් වෙනුවෙන් සහය වීමට කැපවී කටයුතු කරනවා’ යි පවසන ලදි.