ගතවූ වසර 05 තුලදී ක්‍රීඩකයින් 105ක් ශ්‍රී ලංකා පිල නියෝජනය කරලා – ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම ගැන ඇමති නාමල් කතා කරයි

July 8, 2021 at 8:01 PM

2014 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 105 දෙනෙකු ක්‍රීඩා කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද හෙළි කළා.

2016 – 2017 වසරේදී පමණක් අත්හදා ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 40 ක් බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. දිගුකාලීන සැලසුමක් නොතිබීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.

” 2014 වසරේ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව අපේ රටේ ක්‍රීඩා ඇමතිවරුන් සිව්දෙනෙකු සිටියා. ඒ වගේම තමයි ප්‍රධාන පුහුණුකරුවන් 05 දෙනෙකු ඉදලා සිටියා. ඊට අමතරව උප පුහුණුකරුවන් 20-30 දෙනෙක් ඉදලා තියෙනවා. මේ අතර සුවිශේෂි දෙයක් ලෙස නායකයින් 10 දෙනෙකු ඉදලා තියෙනවා. ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරග සඳහා ක්‍රීඩකයින් 105 දෙනෙක් ඉදලා තියෙනා. සමහර ක්‍රීඩකයින් එක් තරගයක් විතරයි ක්‍රීඩා කරලා තියෙනවා. එයින් එක් වසරක් 2016-2017 වසරේදී පමණක් ක්‍රීඩකයින් 40 දෙනෙක් ක්‍රීඩා කරලා තියෙනවා.

2014 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණයට පස්සේ අපි සම්බන්ධ වෙච්ච ලෝක කුසලාන තරග ගත් විට 2019 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගවලින් අපි ඇෆ්ගනිස්ථානයට එරෙහිව තිබ්බ තරගය විතරයි ජයග්‍රහණය කලේ. 2017 වසරේ තිබ්බ ආසියානු කුසලාන තරගාවලියේදී අපි ඇෆ්ගනිස්ථානයට වගේම බංග්ලාදේශ කණ්ඩායම් වලට පරාජය වෙනවා. 2019 ලෝක කුසලාන තරගාවලියේදී අපි තරග 09ක් ක්‍රීඩා කරලා ඉන් තරග 03යි ජයග්‍රණය කරන්නේ.”

කෙසේ වුවත් දැනට වැටී ඇති ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

” විශේෂයෙන් දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීම සඳහා 19 න් පහළ සංචිතය සඳහා ක්‍රීඩකයින් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා A කණ්ඩායම ඇතුළු තවත් සැලසුම් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන්න සුදානම් කරලා තිබෙනවා. අපේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීම සඳහා ඉදිරියේදී විදේශීය තරග සඳහා සම්බන්ධ වෙන්න අවසර කර තිබෙනවා. මිට පෙර එවැනි තීරණයක් අපේ තිබුනේ නැහැ” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ක්‍රිකට් වල තියෙන්නේ අර්බුධයක් නෙමෙයි. තියෙන්නේ වසර ගණනාවක් පුරා තිබුණු නිසි සැලසුමක් නොතිබූ කමයි. ඒ වගේම දැන් අපි සියලු දේ නිසි සැලසුමකට ක්‍රියාවට නංවමින් තිබෙනවා. තරුණ ක්‍රීඩකයින්ට අපි අවස්ථාව දෙන්න අවශ්‍යයි. ඔවුන්ට ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් ලබා ගන්න, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියා.