ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සලකා බලමින් සිටින බව මැතිව්ස් SLC වෙත දැනුම් දෙයි

July 7, 2021 at 11:56 AM

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් සලකා බලමින් සිටින බවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා සම්බන්ධයෙන් තමන් සලකා බලමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ජා කොට ඉදිරි සති කිහිපයේදී සිය තීරණය දැනුම් දෙන බවට මැතිව්ස් ප්‍රකාශ කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නවක ක්‍රීඩකයින් සමග ඉදිරියට යෑමට තේරීම් කමිටුව විසින් ගත් තීරණයත් සමග ඇන්ජලෝ මැතිව්ස් එක්දින කණ්ඩායමෙන් ඉවත් කෙරුණා.

මෙම තීරණය සම්බන්ධයෙන් ක්‍රිකට් කේෂ්ත්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇතිවුයේ ඔහු එක්දින පිටියේදී දක්වා තිබු දස්කම් හේතුවෙන්.

පසුගිය මාර්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල සමග ඔහු අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරග දෙකට පෙර තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත්වුවා. ඒ ඔහු පන්දු යැවීමෙන් කඩුලු 4ක් දවා ගනිමින් දැක්වූ දස්කම් හේතුවෙන්.

එමෙන්ම 2019 ලෝක කුසලාන තරගාවලියේ ද පිත්තෙන් දස්කම් දැක්වූ මැතිව්ස්, 2018 වසරේදී පිතිකරණ සාමාන්‍යය 52.50ක් විය. 2017 වසරේදී මැතිව්ස් ගේ පිතිකරණ සාමාන්‍යය 63.66ක්. 2020 වසර ආරම්භයත් සමග මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාවය එක්වරම දියුණු මට්ටමක දක්නට ලැබුණා.

ලකුණු ලබාදීමේ ක්‍රමවේදය අනුව නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් නොකර සිටීමට තීරණය කළ ජේෂ්ඨ ක්‍රීඩකයින් අතර මැතිව්ස් ද විය.

නමුත් පසුව මැතිව්ස් ඇතුළු ජේෂ්ඨ ක්‍රීඩකයින් වාර්ෂික කොන්ත්‍රාත්තුව අත්සන් තැබීමට තීරණය කර තිබෙනවා. නමුත් වාර්තා වන පරිදි ඔවුන් සඳහා තරගාවලි සඳහා පමණක් කොන්ත්‍රාත්තු ලබාදීමට සුදානම් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතානය දැනුම් දී ඇත්තේ.

ඊයේ රාත්‍රියේ පැවති සාකච්ජාවෙන් අනතුරුව සියලුම ක්‍රීඩකයින් ඉදිරි ඉන්දීය සංචාරය සඳහා ගොනු කිරිමට තීරණය කර තිබෙනවා.