අර්බුධය අවසන් : ක්‍රිකට් ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් තබයි

July 7, 2021 at 9:44 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් තිබුණු අර්බුදය නිමා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. මීට හේතු වී ඇත්තේ එංගලන්ත සංචාරය නිම කර පැමිණි සියලු ක්‍රීඩකයින් ඉදිරි වසර සඳහා වන සිය ක්‍රීඩක ගිවිසුමට අත්සන් තැබීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සවස දිවයිනට පැමිණි ක්‍රීඩකයින් හට ගිවිසුමට අත්සන් තැබීම සඳහා අද උදෑසන 8 දක්වා කාලය ලබාදී තිබුණා.

කෙසේ වෙතත් මෙලෙස පැමිණි සියලු ක්‍රීඩකයින් ලබා දී තිබූ කාලය ඉකුත් වේමට පෙර ඉදිරි වසර සඳහා වන ක්‍රීඩක ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔවුන් වර්ග කිරීමේදී අනුගමනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් නිසි පාරදෘශ්‍ය භාවයක් නොතිබූ බව පවසමින් ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත් මේ සඳහා අවසන් කාලවේලාවක් සටහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ ගිවිසුමට අත්සන් නොතබන ක්‍රීඩකයින් එළඹැඹෙන ඉන්දීය සංචාරය සඳහා තෝරා ගැනීමට සලකා නොබැලෙන බවයි.