ෆයිසර් එන්නත හිමිවූ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව නොවෙයි

July 5, 2021 at 2:33 PM

කොවිඩ් මර්ධනය සඳහා ලබාදෙන ෆයිසර් එන්නත ලබා ගැනීමට හැකිවූ දකුණු ආසියාවේ පළමු රට බව ශ්‍රී ලංකාව යැයි ප්‍රකාශ කෙරුණත් එය එසේ සිදුවී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවට පෙර මාලදිවයිනට ෆයිසර් එන්නත් මාත්‍රා 5,850ක් කොවැක්‌ස් පහසුකම යටතේ පසුගිය මාර්තු 25 වෙනිදා ලබා ගනු ලැබුවා.

කෙසේ වුවත් ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඩ් මර්ධන මාත්‍රා 26,000ක් අද දිනයේදී ශ්‍රී ලංකාව වෙත රැගෙන එනු ලැබුවා.

කෙසේ වුවත් රජය සඳහන් කළේ දකුණු ආසියාවේ ෆයිසර් එන්නත් ලබා ගැනීමට හැකිවූ පළමු රට ශ්‍රී ලංකාව බවයි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් පෙන්වා දුන් අතර, ශ්‍රී ලංකාවට පෙර ෆයිසර් එන්නත් මාත්‍රා ලබා ගත් රට මාලදිවයින බවයි ඔවුන් සඳහන් කළේ.

එන්නත් සම්බන්ධයෙන් අදහස් පළකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද සඳහන් කළේ සිය රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කලේ රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් මිලදී ගනු ලැබූ ෆයිසර් එන්නත් මාත්‍රා 200,000ක් අතරින් පළමු කාණ්ඩය ලෙස මෙම මාත්‍රා තොගය පැමිණි බවයි.

නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ පිහිටි දැඩි ශිතාගාරයක එන්නත් තොගය ගබඩා කිරිමට කටයුතු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටින ගැබිණි මව්වරුන් සඳහා මෙම එන්නත් තොගය දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතයි.