දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවීමට හේතුව හෙළිවෙයි

July 5, 2021 at 11:11 AM

දෛනිකව අඛණ්ඩව 2,000ට ආසන්නව පැවැති මෙරට කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ගතවු පැය 48 තුලදී වාර්තාගත ලෙස පහළ ගොස් තිබුණා. ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1,517 දෙනෙකු සහ පෙර දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1,200ක අගයකයි පැවතුනේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ පසුගිය දින දෙකේ පැවැති සෞඛ්‍ය වර්ජනය රෝගීන් වාර්තාවීම අඩුවීමට හේතුවක් විය හැකි බවයි.

“PCR පරීක්ෂණ ප්‍රමාණය අඩුවීමට හේතුව වැඩවර්ජනය. ආසාදිතයින් අඩුවීමටත් ඒක හේතුවක් වෙන්න ඇති. මොකද සමාජයෙන් වගේම රෝහල් තුළින් කරන PCR ප්‍රමාණය වැඩවර්ජනයක් තියෙනකොට අඩු වෙනවා.” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

කෙසේවෙතත් දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ එලෙස මෙරටින් වාර්තා වී තිබුණා.

දිස්ත්‍රික්ක 25න්ම වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී 1,262ක්. මීට පෙර අවසාන වශයෙන් දෛනික ආසාදිතයින් 1200ට අඩුවෙන් වාර්තා වී තිබුණේ අප්‍රේල් 27 වැනිදායි.