දෙහිව සත්ව උද්‍යානයේ ‘සිංහයාට’ ආසාදනය වූ කොවිඩ් ප්‍රභේදය

July 4, 2021 at 6:19 PM

මිට සති කිහිපයකට පෙර දෙහිව සත්වෝද්‍යානයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ “තෝර්” නම් සිංහයා හට ආසාදනය වී ඇත්තේ B.1.1.7. යනුවෙන් හඳුන්වනු ලබන “ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය” බවට තහවුරුවී තිබෙනවා.

මෙම සිංහයාගේ ශ්වසන සාම්පල් පරික්ෂාව සිදුකළ රාගම වෛද්‍ය විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනය විසින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ බවයි.

” දෙහිව සත්වෝද්‍යානයේ සිටින මෙම සිංහයා ගේ ශ්වසන ආබාධය සම්බන්ධයෙන් වාර්තා වුවාට පසුව අදාළ ජෛව සාම්පල් පරීක්ෂණය රාගම වෛද්‍ය පිඨයේදී සිදුකරනු ලැබුවා. එහිදී එම සත්වයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුනා. පසුව අපි මෙම සත්වයාගේ ජෛව සාම්පල් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනයේ වෙත යොමු කළා.

එහිදී සිදුකළ පරීක්ෂණ වලින් තහවුරුවෙලා තිබෙනවා තෝර් කියන සිංහයාට ආසාදනය වෙලා ඇත්තේ B.1.1.7. යනුවෙන් හඳුන්වනු ලබන “ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය” කියලා ” ජේෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර ප්‍රකාශ කර සිටියා.