නාමල් වෙනුවෙන් හරීන් පෙනී සිටියි

July 3, 2021 at 6:38 PM

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නගා සිටුවීම වෙනුවෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය සහය පළකර සිටිනවා.

Newswire වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් සිදුකරමින් සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රීවරයා කියා සිටියේ ගැටලුව ගැන කතා නොකර එහි වැරැද්ද දේශපාලඥයා මත පැටවීම සිදුනොකළ යුතු බවයි.

” සියලු වැරදි ඔහු මත පැටවීම සිදුනොකළ යුතු දෙයක්. හිටපු ඇමතිවරයා ලෙස මම දන්නා දේ නම් මෙහිදී ඇමතිවරයාට සිදුකළ හැක්කේ ඉතා සුළු කොටසක් පමණයි” හරින් ප්‍රනාන්දු කියා සිටියා.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට කිසිදු වැඩපිලිවලක් ක්‍රියාවට නංවා නොමැති බවත් “ නාමල් ක්‍රිකට් ක්‍රීඩාව අසමත් කළා” යැයි පසුගියදා හිටපු නායක අර්ජුන රණතුංග ප්‍රකාශ කළා.

” වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සම්බ්න්ධයෙන් චෝදනා එල්ල කරන්නේ නම් පළමුව තේරීම් කමිටුවට, ක්‍රීඩකයින් ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා පත් කර තිබෙන තාක්ෂණික කමිටුවට සහ කළමනාකාරීත්වයටයි.” නමුත් අවාසනාවට සිදුවන්නේ සියලු දෙනාම පහසුම මාර්ගය ලෙස දේශපාලඥයාට චෝදනා කරනවා” මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කියා සිටියා.

වත්මන් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපතිකම අරවින්ද ද සිල්වා දරන අතර, එහි සෙසු සාමාජිකයින් ලෙස මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස කටයුතු කරනු ලබන මහේල ජයවර්ධන ද ඊට ඇතුලත්.

” මෙම කමිටුවෙන් එය සිදුකර ගැනීමට අප වග බලා ගත යුතු අතර මෙම ක්‍රියාවලිය මෙහෙයවීම වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීමක්. අර්ජුන රණතුංගට ද ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් යම් කාර්ය භාරයක් සිදුකළ හැකියි. මම හිතන්නේ ඒ සඳහා ඔහුට ඉඩ දිය යුතුයි. ඔහු මෙම ක්‍රීඩකයින්ට විශිෂ්ඨ උපදේශකයෙක් වනු නොඅනුමානයි” හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසුවා.

” ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ආදරය කරන ක්‍රීඩාවක්. එය නැවත ගොඩනැගීම සඳහා අප සියලු දෙනා එක්ව කණ්ඩායමක් ලෙස වැඩ කළ යුතුයි”

කණ්ඩායමේ සිටින ජේෂ්ඨ ක්‍රීඩකයින් විවේක ගැන්විම සම්බන්ධයෙන් මෑතකදී සිදුකළ අත්හදා බැලීම ගැන මම පෞද්ගලිකව සතුටු වන්නේ නැහැ. එවැනි තීරණයක් ගැනීමේදී සියලු දෙනා සමග සාකච්ජා කළ යුතුයි. අපට තරුණ සහ පළපුරුදු ක්‍රීඩකයින්ගේ සම්මිශ්‍රණයක් තිබිය යුතුයි. ඒ වගේම ඔවුන්ගේ ගැටළු සහ දුක්ගැනීවිලි ගැනද විශේෂයෙන් අවදානය යොමු කළ යුතුයි.

ඒ වගේම කණ්ඩායම හැසිරවීමට පපුරුදු කළමනාකරුවෙක් සිටීම අත්‍යාවශ්‍යයි. විශේෂයෙන් මෙවැනි විශාල සංචිතයක් හැසිරවීමේදී එය ඉතා වැදගත්. ඒ කරුණ ගැන විශේෂ අවදානයක් යොමු කරනු ඇති බව මම විශ්වාස කරනවා” යැයි මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කියා සිටියා.