හාම්පුතුන්ට සෞඛ්‍ය අංශ වලින් විශේෂ දැනුම් දීමක්

June 30, 2021 at 11:03 PM

උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා නොකැඳවන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියලු ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටිනවා.

එවැනි රෝගීන් කැඳවීමෙන් ආයතනවල කොරෝනා අවදානමක් මතුවිය හැකි යැයි පෙන්වා දෙන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා, උණ රෝගයෙන් පෙළෙන සේවකයන් ගැන දැඩි අවධානයකින් සිටින ලෙසටද දැනුම් දී සිටියේ.

මේ අතර වායුසමනය කරන ලද ස්ථානවල හෝ සම්පූර්ණයෙන්ම වැසුණු ස්ථානවල රාජකාරි කරන පිරිස් මුව ආවරණ නොමැතිව එකට කතාබස් කරමින් ආහාර ගැනීම හෝ තේ පානය කිරීම හෝ සාකච්ඡා පැවැත්වීම වැනි කටයුතුවලින් වළකින ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

කිහිපදෙනෙකු එකට එකතු වී ආහාර ගැනීම වැනි ක්‍රියාකාරකම් කොරෝනා පැතිරීමට බෙහෙවින් ඉවහල් වන බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වා දෙයි.