ජුලි 01 වෙනිදා සිට විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවන නිරෝධායන රෙගුලාසි

June 27, 2021 at 11:24 PM

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අදාළ නිරෝධායන රෙගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධනයට ලක් කර තිබෙනවා.

ජුලි මස 01 වෙනිදා සිට ජුලි මස 31 වැනි දා දක්වා බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති මෙම නව නිරෝධායන රෙගුලාසි අනුව විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, වෙළෙඳ නාවිකයින්ට, නාවික ආරක්ෂකයින්ට, ද්විත්ව පුරවැසියන්ට, සංචාරකයින්ට සහ නේවාසික වීසා බලපත්‍ර හිමි විදේශිකයින්ට අදාළ වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයේ දක්වා ඇත්තේ.

මේ යටතේ එන්නත්කරණය සම්පූර්ණ නොකරන ලද ශ්‍රී ලාංකයින් හා ද්විත්ව පුරවැසියන් සියලු දෙනා පළමු දින PCR පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට හෝ මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරෙන අතර දින 11ත් 14ත් අතර කෙරෙන PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු නොවන්නේ නම් දින 14 අවසානයේදී ඔවුන් අදාළ මධ්‍යස්ථානවලින් මුදා හැරීමට නියමිතය.

කොව්ඩ් ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් අතර අදාළ ආසාදිතයා මැදි රෝහලකට ඇතුළත් කිරීමට උපදෙස් ලබාදී ඇත.

පූර්ණ ලෙස එන්නත්කරණය අවසන් කළ ලාංකිකයින් හා ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණෙන පළමු දිනයේදී PCR පරීක්ෂණයක් සිදු කෙරෙන අතර එහිදී ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ අධීක්ෂණය යටතේ අනිවාර්ය නිවෙස් නිරෝධායනය වෙත යොමු කෙරේ.

දින 14 කට පසු කෙරෙන PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් නිවෙස් නිරෝධායනයෙන් මුදා හැරෙනු ඇත.

මෙරට අනුමත රාජ්‍ය තාන්ත්‍රික විදෙස් කාර්යය මණ්ඩල සාමාජිකයින් හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයින් මෙරටට පැමිණීමේදී පළමු දින PCR පරීක්ෂණයෙන් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුමත කරන ලද නිරෝධායන නිවෙස්නයකට හෝ හෝටලයකට යොමු කෙරේ.

ඔවුන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 11 – 14 ත් අතර කාලය තුළ දෙවන PCR පරීක්ෂණය පැවැත්වෙන අතර ඉන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 14 අවසානයේදී නිරෝධායන මධ්‍යස්ථානවලින් මුදා හැරීමට නියමිතයි.

මීට අමතරව එන්තත්කරණ තත්ත්වය සලකා බැලීමෙන් තොරව මෙරටට පැමිණෙන සියලු විදේශිකයින් පළමු දින PCR පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට යොමු කෙරේ. එහි ප්‍රතිඵලය අනුව ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යොමු කෙරෙනු ඇත.

ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 11 – 14ත් අතර දෙවන PCR පරීක්ෂණයකට ද ඔවුන් යොමු කෙරේ. ඉන් ඔහු ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 14 අවසානයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරීමට නියමිත බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව රේගුලාසි අනුව සඳහන් ව ඇත්තේ.