කොවිඩ් මර්ධනයට නව එන්නත් වර්ග 03ක් නුදුරේදීම දිවයිනට

June 27, 2021 at 10:01 PM

ශ්‍රී ලංකාව තුළ මේවන තෙක් භාවිත නොකළ කොවිඩ් මර්දන එන්නත් වර්ග 3ක් ඉදිරි සති 2ක තුළ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම එන්නත් වර්ග 3 ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබෙන බවයි.

මේ අතර, කොවිඩ් මර්දන කටයුතුවලදී මෙරට අවුරුදු 18ට අඩු පිරිස ගැනද වැඩි අවධානයක් යොමු කළයුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

“ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන එහෙත් ශ්‍රී ලංකාව තුළ මේ වනතෙක් භාවිත නොකරන එන්නත් වර්ග 3ක් මෙරටට ඉදිරි සති 2ක තුළ ලැබීමට නියමිතයි. අමෙරිකාවේ නිෂ්පාදනයක් වන ෆයිසර් සහ මොඩර්නා එන්නත්, චීනයේ නිෂ්පාදනයක් වන සිනොවැක් එන්නතත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන්න නියමිතයි.

ජූලි දෙවන සතිය වනවිට මුළු රටේම 60ට වැඩි සියලු දෙනාටම එක එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීම තමයි අපේ අරමුණ. එන්නත ලබා ගත්තා කියලා 100%ක් ආරක්ෂාව ලැබෙනවා කියලා කිසිම සහතිකයක් දෙන්න බෑ. එන්නත් වර්ගය අනුව ලැබෙන ආරක්ෂාකාරී බව වෙනස් වෙනවා.

ඉහළම ආරක්ෂාවක් තියෙන එන්නතත් 90%ක ආරක්ෂාවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒකෙ තේරුම එන්නත ලබාගන්නා සෑම 10 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක්ට අවදානමක් තියෙනවා කියලා. ඒ නිසා සෞඛ්‍ය පුරුදු අත්හරින්න බෑ. අපේ අවුරුදු 18ට අඩු අය එන්නත් ලබාගෙන නෑ. ඉතින් ඒ අය ගැනත් අපි හිතන්න ඕනේ. මොකද ලෝකයේ අලුත් ප්‍රභේද බිහි වෙනවා.

ඒ වගේම සිනොවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ අවසාන නිෂ්පාදනයක් ලෙස එළිදැක්වීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. තවත් සති කිහිපයකින් මූලික තාක්ෂණික කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි. මේක මුල සිටම එන්නතක් නිෂ්පාදනය කිරීමක් නෙමෙයි. අවසන් නිෂ්පාදනයට පෙර අවස්ථාවේ තියෙන එන්නත් ඖෂධය ලංකාවට ගෙනල්ලා එහි වෙනස්කම් සිදුකරලා අවසාන නිෂ්පාදනය ලෙස එළිදක්වනවා. ඒ එන්නත නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය එම මව් සමාගම සතු රහසක්. නමුත් එයින් අපිට ඉහළ ආර්ථික වාසියක් අත්වෙනවා.” රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.