නිරෝධායන රීති කඩ කිරීමේදී පනවන දඩය ඉහළ දැමීමට යයි

June 23, 2021 at 5:06 PM

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයන් වෙනුවෙන් පැනවෙන රුපියල් 5000ක දඩය ගැසට් පත්‍රයක් මගින් රුපියල් 50000ක් ලෙසට වෙනස් කර හෝ කොවිඩ් මර්දනය වෙනුවෙන් ඉලක්කගතව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පොලිසිය ඒකාබද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි අමාත්‍යවරිය අවධාරණය කළේ.

රුපියල් මිලියන 250ක වියදමින් කලුතට නාගොඩ මහ රෝහලේ ස්ථාපිත කළ හෘද කැතීටරීකරණ රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.

අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නේ කොවිඩ් මර්දනය කර රට බේරා ගැනීමට හැකියාව ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බවයි. පළමු සහ දෙවන කොවිඩ් රැළි මර්දනය කිරීමට හැකිවූයේ නම් තුන්වන රැල්ල මරදනය කිරීම යනු අපහසු කාර්යයක් නොවන බව ද ඇය සඳහන් කළා.

සියලු කටයුතු සිදුකරමින් පවතින්නේ එම ඉලක්කය සහිතව බව පැවසූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ඒ වෙනුවෙන් පනවන නීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නා.