පෙර මෙන් කටයුතු කළහොත් ඉදිරියේදී දැඩි අර්බුධයක් ඇතිවිය හැකියි – වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි

June 21, 2021 at 8:00 AM

පසුගිය කාලයේ කටයුතු කළ ආකාරයෙන් ජනතාව ඉදිරියේදී ද කටයුතු කළහොත් දැඩි අර්බුදකාරී තත්ත්වයත් උද්ගත වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියා.

“දැනට තියෙන අනෙක් ප්‍රභේදවලයි ඩෙල්ටා ප්‍රභේදයෙයි රෝග ලක්ෂණවල ලොකු වෙනසක් වාර්තා වෙන්නේ නෑ. ප්‍රධානම දේ වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරෙනවා. බරපතළ තත්ත්වයන් සංකූලතා ඇතිවීමේ ඉඩකඩ වැඩියි. ඇල්ෆා ප්‍රභේදය ලංකාවේ පැතිරීමට ප්‍රධාන සාධකයක් වූණේ අපේ තිබුණු හැසිරීම් රටාවේ වෙනස. විශේෂයෙන් අලුත් අවුරුදු සමයේ. අපි ආයෙත් ඒ වගේ හැසිරෙන්න ගියොත් ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක අපි ආයෙත් ලොකු අනතුරකට පත්වෙනවා.” එහිදී තවදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නා.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරයාම කුමන ආකාරයෙන් පවතී ද යන්න නිශ්චිත තොරතුරක් මේ වනවිටත් ලැබී නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.