ඩෙල්ටා ප්‍රභේදය ගැන සොයන PCR පරීක්ෂණ වේගවත් කරයි

June 20, 2021 at 10:01 AM

ඉන්දීය කොවිඩ් වයිරස් ප්‍රභේදය හෙවත් ‘ඩෙල්ටා’ ප්‍රභේදයේ පැතිරීම වේගවත් නිසා පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල පැය 24කින් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. දැනට සිදු කරන විසි දහසක (20000ක්) පමණ වූ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 25000 දක්වා වැඩි කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි දැනුම් දී තිබෙන බව “අරුණ” පුවත්පත වාර්තා කර සිටිනවා.

ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වේගවත් වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වුවහොත් වසංගත මර්දනයට බාධා ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරියගේ මතය වී තිබේ.

‘‘ඩෙල්ටා’‘ ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් සොයාගත් දෙමටගොඩ ප්‍රදේශයේ 66 වත්තේ සියලු පවුල් නිරෝධායනය කර පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට ද පියවර ගෙන ඇත. මෙම ප්‍රභේදය රෝගීන්ට ඇතුළු වූ ආකාරය පිළිබඳ මෙතෙක් සොයා ගෙන නොමැත.

මේ අතර කොවිඩ් නොවන මරණ පැය 24ක් තුළ අවසන් කිරීමට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. කොවිඩ් නොවන මරණ පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු සිදු කිරීමට වන ප්‍රමාදය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

( උපුටා දැකීම : අරුණ පුවත්පත)