කොළඹ වරායේ සිට ගමන් ඇරඹු නෞකාවක ඉන්ධන කාන්දුවක්

June 18, 2021 at 12:01 PM

කොළඹ වරායේ සිට පිටත්ව ගිය පෘතුගීසි ධජය සහිත බහාලුම් නෞකාවක් වන එම්වී ඩෙවොන් හි ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් තහවුරු කර සිටිනවා. මෙම ඉන්ධන කාන්දුව සිදුව ඇත්තේ එරට නැගෙනහිර මුහුදු කලාපයේදී බවයි වැඩිදුරටත් එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පැවසුවේ චෙන්නායි හි සිට නාවික සැතපුම් 250ක් දුරින් වූ මුහුදු කලාපයේ දී මෙම නෞකාවෙන් ඉන්ධන කිලෝ ලීටර් 10ක් පමණ මුහුදට කාන්දුවී ඇති බවයි.

මෙම නෞකාව කොළඹ වරායේ සිට ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හල්දියා වරාය බලා ගමන් කරමින් සිට තිබෙනවා.

නෞකාවේ ඉන්ධන ටැංකියේ ඇතිවූ කාන්දුවකින් මෙලෙස ඉන්ධන මුහුදට නිකුත් වී ඇති බවයි ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය සඳහන් කලේ.

කෙසේ වෙතත්, එම්වී ඩෙවොන් නෞකාව බාධාවකින් තොරව සිය ගමනාන්තය දක්වා යාත්‍රා කරමින් සිටින බවත් අදාළ තත්ත්වය ගැන සියලු වගකිවයුතු අංශ වෙත දැනුම් දී ඇති බවයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් කියා සිටියේ. මෙම නෞකාව අද සවස් කාලය වන විට සිය ගමනාන්තයට ළඟා වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කොළඹ සමුද්‍රීය මුදාගැනීමේ හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් ද නෞකාවේ තෙල් කාන්දුව පිළිබඳව ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි..

මෙම නෞකාව බහාලුම් 382 ක සාමාන්‍ය භාණ්ඩ ටොන් 10,795 ක් රැගෙන යන අතර රටවල් කිහිපයක ජාතිකයින් ඇතුලත් කාර්ය මණ්ඩලය 17 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.