ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු.400කින් ඉහළ නැංවීමට නිර්දේශ ඉදිරිපත් වෙයි

June 16, 2021 at 8:03 AM

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් ඉහළ නැංවීමට අවසර ලබාදීම සුදුසු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇමැති අනු කමිටුවට දැනුම් දී තිබෙන බව “අරුණ පුවත්පත” වාර්තා කර සිටිනවා.

බන්දුල ගුණවර්ධන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන ඇමැතිවරුන්ගෙන් සමන්විත මෙම අනු කමිටුව වෙළෙඳ අමාත්‍යාංශයේදී පෙරේදා (14) රැස්වී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

ලිට්රෝ ආයතනය ගෘහස්ත ගෘස් සිලින්ඩරයක මිල රුපියල් 600කින්ද ලාෆ් සමාගම රුපියල් 700කින්ද ඉහළ නැංවිය යුතු බවට යෝජනා කර තිබුණු අතර එහිදී ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක ගෑස් මිලද වැඩි කළ නොහැකි බවයි. එම නිසා විකල්ප ක්‍රම හඳුන්වා දෙන ලෙස ඇමැති අනු කමිටුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හා ගෑස් සමාගම් දෙකට දැනුම් දී ඇත.

මේ අතර කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර වෙළෙඳපොළේ අනිවාර්යයෙන්ම තිබිය යුතු බවට නකුත් කළ ගැසට් නිවේදනයට අනුව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළේ තිබෙනවා දැයි සෙවීම ඊයේ (15) සිට පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කර තිබේ.

එ අනුව ගම්පහ, ජාඇල හා ඒකල යන ප්‍රදේශවල කළ සොයා බැලීම්වලදී ගෑස් සමාගම් දෙක මැයි මස අවසානයේ හා ජුනි මස පළමු සතියෙන් පසු වෙළෙඳසල් සඳහා ගෑස් සිලින්ඩර නිකුත් කර නොමැති බව අනාවරණය වී තිබේ.

(උපුටා ගැනීම : අරුණ පුවත්පත)