මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් සඳහා රු.10 ක තැන්පතුවක් ලබා ගන්න යෝජනාවක්

June 14, 2021 at 11:46 AM

මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම වැළැක්වීමට විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.

එම නිසා මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණය සඳහා එම බෝතල් මිලදී ගන්නා විට කිසියම් මුදලක් තැන්පතුවක් වශයෙන් තබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

හිස් බෝතලය නැවත බාර දී අදාළ තැන්පත් මුදල යළි ලබා ගත හැකිවන අතර, හිස් බෝතලය ඉවතට වීසි කළද වෙනත් අයෙකුට එවැනි බෝතල් එක්රැස් කර බාරදීම මගින් අමතර ආදායමක් උපයා ගැනීමට ද හැකිවන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

දැනට යෝජනා වී ඇති පරිදි එම තැන්පතු මුදල රුපියල් 10ක් වන අතර මෙම යෝජනාවට අදාළ සමාගම් ද එකඟත්වය පළ කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දැනට මෙරට තුළ එවැනි බෝතල් ප්‍රතිචක්‍රියකරණය කළ හැකි කර්මාන්තශාලාවක් නොමැති හෙයින් මෙම ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම් එක්ව ඒකාබද්ධ ප්‍රතිචක්‍රියකරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීම කෙරෙහි ද මේ වනවිට අවධානය යොමු වී ඇති බවයි.