කොවිඩ් එන්නත් අවභාවිතාව ගැන CID විමර්ශන

June 14, 2021 at 8:38 AM

කොවිඩ් එන්නත් අවභාවිත කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව පරීක්ෂණ පැවැත්වෙන බවයි ” අරුණ පුවත්පත” වාර්තා කර සිටින්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම්වලදී සහ කොවිඩ් මර්දනය පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති රැස්වීම්වලදී ද එන්නත් අවභාවිතය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එන්නත් අවභාවිත නොකරන ලෙස ජනාධිපතිවරයාද රැස්වීම් කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණි. විශේෂයෙන්ම ගාල්ල උණවටුණේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේදී ඉන්දීය ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට ලබාදීම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන්ට එන්නත් ලබාදීම, වතුපිටිවල මූලික රෝහලේ එන්නත්කරණය සිදු වූ ආකාරය වැනි මෙතෙක් වාර්තා වූ එන්නත් අවභාවිත කිරීමේ සිද්ධීන් මුල් කර ගනිමින් විමර්ශන සිදු කෙරේ.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව හුවමාරුවෙන් පසුගිය පස්වැනිදා හා හත්වැනිදා පිට වූ වාහන සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන හා වාර්තා ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබාදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුලුවෙල නියෝග කර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයාටය. ගාල්ල උණවටුන දිස්ත්‍රික් සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසකට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ පැමිණිලි හා මාධ්‍ය මගින් පළ වූ වාර්තා සැලකිල්ලට ගනිමින් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

(අරුණ පුවත්පත වාර්තා කරයි)