ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි

June 13, 2021 at 1:10 PM

ගම්පහ දිස්ත්‍රික්කයේ එම මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු මෙම ඉදිකිරිම් තාවකාලික ව අත්හිට වු බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටියේ.

මහජන අදහස් හා මහාමාර්ග හා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වුවහොත් අදාළ සැලැස්ම සංශෝධනය කිරිමට රජය සුදානම් බවත් ඒ අනුව අදහස් ලබාගැනීම මේ අනුව සිදු වන බවත් ඇමතිවරයා පෙන්වා දී සිටියේ. මෙම සැලැස්ම සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹීම ඉදිරි සති දෙක තුළ සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාපතනයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර මෙම යටවීමට එක් හේතුවක් වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් බවට චෝදනා නැගිණි. මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කිරීමට තීරණය කෙරුණා.

ඒ අනුව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ඊයේ (12) ගම්පහ සහ අත්තනගල්ල ප්‍රදේශවල මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ජලයෙන් යටවු ප්‍රදේශ නිරීක්ෂණය කළ අතර මහජන අදහස් ද විමසා බැලුවා.