CIDයට පළමුවරට කාන්තා නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක්

June 11, 2021 at 5:46 PM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවතාවට කාන්තාවක් පත්කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය එම තනතුර ට පත්ව ඇත.

ඇය 2007.11.03 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස පොලිස් සේවයට බැඳ ඇති අතර වසර 14ක සේවා කාලයක් ඇති නිලධාරීනියකි.

රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධියත්, විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධියත් ඇය ලබාගෙන තිබේ.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස ආයතනයේ දී අර්බුද කළමනාකරණ පාඨමාලාවත්, තායිලන්තයේ බැංකොක් නුවර දී FBI ආයතනය මඟින් පවත්වන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාවත්, මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේ දී ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාවත්, ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේ දී අන්තර්ජාල අපරාධ පිළිබඳවත් පාඨමාලා හදාරා ඇත.

එමෙන්ම ඇය නුගේගොඩ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් නිෂ්කාශන වාර්තා ඒකකයේ රාජකාරී සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.