සංචරණ සීමාවන් ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ (VIDEO)

June 11, 2021 at 5:25 PM

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මේ වන විට පනවා ඇති සංචරණ සිමාවන් ජුනි 21 වෙනිදා උදෑසන 4.00 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අනුව මෙම කාල සීමාවේදී දැනට පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට සහ ජනතාවට ජංගම රථ මගින් ලබාදෙන ආහාර පාන ආදිය බෙදා හැරීම් සිදුකිරීම සඳහා මෙම කාල සීමාවේදී අවසර හිමිව තිබෙනවා.

මේ අතර දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක කාලයක් විවෘත කිරීමට පියවර ගනු ලබන බවත් එය ඉදිරියේදී රජය මගින් දැනුම් දෙන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ.

ඊට අමතරව සංචරණ සීමාවන් පනවා ඇති කාල සීමාවේදී ඇගලුම් කර්මාන්ත ශාලා, ප්‍රධාන පෙලේ ඉදිකිරීම් ව්‍යාපෘති, කෘෂි කර්මාන්ත කටයුතු, කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ගම්මානවල පවත්වනු ලබන සති පොලවල් යම් නියාමනයන්ට යටත්ව පැවැත්වීමට ද අවධානය යොමු වී ඇති බවයි මෙහිදී හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.