සජබයේ අනාගතය සජිත්ගේ හැසිරීම මතයි – පාඨලී කියයි

June 10, 2021 at 8:12 AM

සමගි ජන බලවේගයේ අනාගතය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ (9) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘‘අවස්ථානුකූලව ඒ වෙලාවේ තිබුණ හොඳම විකල්පය සජිත් ප්‍රේමදාස මහත්තයා. අපි ඒ හින්දා ඒ ලෙස කටයුතු කළා. අනාගතයේදී සමගි ජන බලවේගයේ ගමන එතුමාගේ හැසිරීම හා අනෙකුත් කාරණා මත තීරණය කරයි’’

“සජිත් ප්‍රේමදාසව විපක්ෂ නායක පුටුවේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂ නායක කරන්න ඕනේ කියන එක්සත් ජාතික පක්ෂ තීරණය කරලා තියෙන වෙලාවේ මමයි යෝජනා කරලා ඒ ලිපිය අත්සන් කරලා එතුමාව විපක්ෂ නායක කළේ. අපි කිසිම කෙනෙක් ට යටින් මඩ ගහන වැඩ කරන්නේ නෑ. අපි විවේචනයක් තියෙනවා නම් කෙලින් කියනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු එනවද නැද්ද කියලා මම දන්නේ නෑ. 2019 එතුමාට කතා කරාට පස්සේ මම එතුමාට කථා කරලා නෑ.“

“මම සිහින දකිනවා මේ රටේ පවුල් වාදයට උරුම වෙලා තියෙන මේ දේශපාලනය මේ රටේ නිපුණතාවය මත හැකියාව තියෙන පරම්පරාවට උරුම කර ගැනීම සඳහා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේ රටේ පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක්. ඒ නිසා ඒ ප්‍රභූ පන්තියට විරුද්ධව තමයි අපි මේ කටයුතු කරන්නේ.“ මන්ත්‍රීවරයා කියා සිටියා.