මෙරට ලාබාලතම කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි

June 10, 2021 at 2:42 PM

ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙය මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ් මරණය ලෙසයි සලකනු ලබන්නේ.

රජය ඊයේ (09) තහවුරු කළ මරණ අතරට එම බිළිදා ද අයත් වනවා.

පසුගිය මැයි 25 වන දින මෙලොව උපත ලබා ඇති බිළිඳා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇති අතර නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳාව නැවත රෝහල් ගත කර තිබේ.

ඉන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී බිළිඳා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි බිළිඳාගේ මවට හෝ පියාට මෙතෙක් පීසීආර් පරීක්ෂණයක් සිදුකර නොමැති අතර, ඔවුන්ගෙන් දරුවාට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි වෛද්‍යවරු සැක පළ කර සිටින්නේ.