ගිලුණු නෞකාවේ ඉන්ධන කාන්දුවක් ?

June 10, 2021 at 1:24 PM

මෙරට මුහුදු සීමාවේදි ගිනි ගැනීමට ලක්වු “එම්.වී එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් දැක ගන්නට ලැබෙන බව Sky ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටිනවා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් ඡායාරූප කිහිපයක් උපුටා දක්වමින් ඔවුන් මේ බව වාර්තා කර සිටිනවා.

එය මීටර ගණනාවක් දුරට විහිඳි ඇති බවට දැක ගන්නට ලැබෙන බවත් ඉන්ධන කාන්දුව රිදී පැහැයෙන් යුතුව අදාළ චන්ද්‍රිකා ජායාරූපවල දක්නට ලැබෙන බවයි Sky ප්‍රවෘත්ති සේවය සඳහන් කර සිටියේ.

කොළඹ වරායට ආසන්න මුහුදේදි ගිනි ගැනිමට ලක්වු “එම්.වි එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව පසුගිය දෙවැනිදා ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමට කටයුතු කිරිමේදි නැව තුළට ජලය කාන්දුවිම නිසා එය ගිලි යාමට ලක්වූ අතර නැවේ පිටුපස කොටස මීටර 22ක් පමණ ගැඹුරින් ඇති මුහුදු පතුලේ ගැටී පවතී.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලුණු ස්ථානයට ඊසාන දෙසින් තෙල් කාන්දුවක් දක්නට ඇති බවයි මේ සම්බන්ධයෙන් නාරා ආයතනය සඳහන් කරන්නේ.

මෙය මෙම නෞකාවට ඉන්ධන ලෙස යොදා ගත් බර තෙල් ද නැතහොත් ගිනිගැනීමෙන් පසු මතු වූ පැල්ලමක් දැයි යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි නාරා ආයතනය සඳහන් කර සිටින්නේ.