කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යා ලේඛණවල පරස්පරතාවයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි

June 9, 2021 at 9:12 PM

මෙරට කොවිඩ් සම්බන්ධයෙන් දත්ත එළිදක්වනු ලබන ආයතනවල තොරතුරු මගින් ‘කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල’ සත්‍ය තත්ත්වය පැහැදිලි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දිම එපිටකඩුව පවසන්නේ රට තුළ පවතින තත්ත්වය පිළිබිඹු කෙරෙන තත්ත්වයට වඩා භයානක බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සතු දත්ත භාවිතයෙන් වෛද්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ පළමු කොවිඩ් මරණ 500 වාර්තා වීමට දින 343ක් ගතවූ බවත් එතැන් සිට දින 72කට පසුව දෙවැනි මරණ 500 වාර්තා වූ බවයි. නමුත් මෙරට තුළ තෙවැනි කොවිඩ් මරණ 500 වාර්තාවීමට ගතවී ඇත්තේ එතැන් සිට දින 13ක් බවද ඔහු කියා සිටියා.

ඊයේ (09) වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබු මුළු කොවිඩ් මරණ ගණන 1,843ක් ලෙස දැක්වෙනවා. ඉන් පැහැදිලියි ඉතිරි මරණ 500 වාර්තා වීමට ගතවන කාලය/දින ගණන මීට වඩා අඩුවෙයි. ඒක බරපතළ තත්ත්වයක්, වෛද්‍ය චන්දිම එපිටකඩුව කියා සිටියා.

ඔහු තවදුරටත් පැවසුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සම්බන්ධයෙන් ද එළි දක්වන දත්ත වලද පරස්පරතා පවතින බවයි.

“ජුනි මාසේ 6 වෙනිදාමෙරට සක්‍රීය රෝගීන්ගේ සංඛ්‍යාව විදියට 36,333ක් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. හැබැයි ජූනි 7 වනදා පරීක්ෂා කර බැලුවොත්, සක්‍රීය රෝගීන් ඉන්නේ 31,145යි. වසංගත රෝග විද්‍යා අංශය ඇතුළු ආයතන එළිදක්වන දත්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ 5,016ක් අඩුවෙලා තියෙනවා. හැබැයි සුවවූ රෝගීන් ලෙස තිබෙන්නේ 1,170යි.

ඔබට පෙනෙනවා රෝගීන් 5,016කට වෙච්ච දෙයක් නෑ. මේ රෝගීන් සංඛ්‍යාව ඉන්නේ සමාජයේ. සමාජයේ මේ රෝගීන් හිටපු හින්දා සෞඛ්‍ය අංශවලට බෑ මේ රෝගීන් කියලා එකසැරේටම හඳුනාගන්න.

නමුත් දවස් ගණනක් ගියාට පස්සේ මේ ප්‍රස්ථාර වල අවුල් සහගත තත්ත්වයක් ඇතිවෙන නිසා වරින් වර, දවස් හතරකින් නැත්නම් දවස් පහකින් මේ රෝගීන් ටික ප්‍රස්ථාරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය එනවා. දවස් 4- 5 කට සැරයක් අපේ සෞඛ්‍ය දත්ත වල 5,000ක 6,000ක විචලනයක් සිදුවෙනවා.

මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය මගින් වඩාත් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ දවස් 5කට 6කට සැරයක් ලෙඩ්ඩු 5000කට 6000කට මේ වෙන්නේ මොකක් ද කියලා.” වෛද්‍ය චන්දිම එපිටකඩුව මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.