ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමට ජනපති විසින් ජපාන අගමැතිගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක්

June 9, 2021 at 2:16 PM

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජපාන අග්‍රාමාත්‍ය යොෂිඩේ සුගා මහතාගෙන් සිදුකළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

ජනාධිපතිවරයා සහ ජපාන තානාපති සුගයිමා අකිරා අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මේ බව සඳහන් කර සිටියා.

කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළවී තිබෙනවා.

සමුද්‍රීය අනතුරු පිලිබඳ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම කෙරෙහිද ජනාධිපතිතුමා විසින් තානාපතිවරයාගේ අවදානයට යොමු කරන ලදියි.