රජයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ලවූ බවට අසත්‍ය ප්‍රචාර පලකළ තරුණයා රිමාන්ඩ් කෙරේ

June 8, 2021 at 5:30 PM

ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවි සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද තරුණයෙකු හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරු විසින්”ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලට සයිබර් ප්‍රහාරයක්” යනුවෙන් අසත්‍ය පුවතක් ලියාපදිංචි නොකර පවත්වාගෙන යන සැකකරුගේ වෙබ් පිටුවේ පළකර ඇතැයි සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමින් සමාජ මාධ්‍ය පිටුවක් ඔහු විසින් පවත්වාගෙන යන බව එම නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියා.

සැකකරු විසින් සිදුකළ එම අසත්‍යය ප්‍රචාරය තුළින් ජාතික ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයටද බරපතළ අගතියක් සිදු වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කරුණු දක්වා සිටියේ.