මල් ශාලාවක සේවකයින් පිරිසකට කොවිඩ් : එකම ආරක්‍ෂිත ඇඳුම කිහිපදෙනෙකුම භාවිතා කර ඇති බවට හෙළිවෙයි

June 8, 2021 at 6:24 PM

හෝමාගම, විවිධ සේවා සමුපකාර සමිතියට අයත්, දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු හත්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ, හේතුවෙන් එම මල් ශාලාව තාවකාලිකව වසා දැමීමට ඊයේ (07) පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම එහි තවත් සේවකයින් 10 දෙනෙකු මල් ශාලාව තුළම නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට දින කීපයකට පෙර අදාළ මල්ශාලාවේ කළමනාකරුට සහ රියදුරා ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර, පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී එහි තවත් සේවකයින් පස්දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනා ගැණුනා.

එම මල්ශාලාවේ සේවකයින් කිහිපදෙනෙක් එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත කරමින් දෛනිකව කටයුතු සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.