ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් අතර පැවති සාකච්ජාව උණුසුම් වෙයි

June 7, 2021 at 2:27 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් සහජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර තීරණාත්මක සාකච්ජාවක් අද පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පවත්වා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ෂික ගිවිසුම පිලිබඳව ඇතිවී තිබෙන ගැටළු සහගත තත්ත්වය සම්බන්ධයෙන්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරය සඳහා හෙට දිනයේදී පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.

කෙසේ වුවත් කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළු සහගත තත්ත්වය නිසා ක්‍රීඩකයින් වාර්ෂික ගිවිසුම් සහ එංගලන්ත තරග සංචාරයට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත.

කෙසේ වුවත් කිසිදු ගෙවීමකින් තොරව වුවද එංගලන්ත තරග සංචාරයට සහභාගිවීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වුයේ.

කෙසේ වෙතත්, පසුව ක්‍රීඩකයින් අදාළ ක්‍රීඩා නීතිය සහ ICC ප්‍රකාශවලට අත්සන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහක වගන්තිවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙහිදී රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ලැබූ අතර ක්‍රීඩකයින් ගිවිසුම් සඳහා අත්සන් නොකළහොත් වසර 3 කට ක්‍රීඩා භාවය අත්හිටුවන බවට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ. නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ට හෝටලයෙන් ඉවත්ව යන ලෙස දැනුම් දී ඇත. නමුත් පසුව ඔවුන්ට එකඟතාවකට පැමිණීමට සවස් වන තුරුම කාලය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවයි ක්‍රීඩකයන්ට සමීප ආරංචි මාර්ග Newswire වෙබ් අඩවිය වෙත වාර්තා වුයේ.