රෝග ලක්ෂණ නැතත් දරුවන් කොරෝනාවෙන් බේරා ගන්නේ මෙහෙමයි – අරුණ පුවත්පත වාර්තා කරයි

May 13, 2021 at 8:09 AM

දරුවන්ට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් ඔවුන් කොවිඩ් වැලඳීමේ අවදානමකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ කොවිඩ් තුන්වන රැල්ලේදී දරුවන්ද ගොදුරු වීමේ අවධානමක් මතුව ඇති බවයි. දරුවන්ද උග්‍ර කොවිඩ් රෝග තත්ත්වයකට පත්වී අසාධ්‍ය විය හැකි අතර සංකූලතා හා මරණ පවා ඇතිවිය හැකි බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

ප්‍රතිශක්තිකරණ දුර්වලතා සහිත දරුවන්ට වැඩි අවධානමක් පවතින අතර දරුවන්ට කොවිඩ් රෝගය ඇතිවීම වළක්වා ගැනීම දෙමාපියන්ගේ වගකීමක් බව අමාත්‍යංශය අවධාරණය කරයි. එමනිසා දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

• දරුවන් අනවශ්‍ය ලෙස නිවසින් පිටතට රැගෙන යාමෙන් වළකින්න. අනවශ්‍ය ගමන් බිමන් සඳහා දරුවන් සහභාගි කර නොගන්න.

• අවුරුදු දෙකට වැඩි සෑම දරුවකුටම මුව ආවරණ පැලඳීම අත්‍යවශ්‍යයි. අවුරුදු දෙකට අඩු දරුවන් අනෙකුත් පුද්ගලයන්ගෙන් ඈත්කර තබා ගන්න. සිප ගැනීමට හෝ තුරුළු කරගැනීමට ඉඩ නොදෙන්න.

• සබන් හෝ විෂබීජ දියරයකින් නිතර දෑත් සෝදවන්න.

• කැස්ස හෝ කිඹුහුන් යාමේදී වැලමිට, ලේන්සුවක් හෝ ටිෂූ එකක් භාවිත කරන්න.

• විෂබීජ නාශකවලින් දරුවන් නිතරම අල්ලන ස්ථාන සහ අනෙකුත් දේවල් පිරිසිදු කරන්න.

• අනෙකුත් දරුවන් සමග දුරස්ථ ක්‍රමවේද මගින් සම්බන්ධ වීමට උදව් කරන්න.

• දරුවන්ගේ ඇතිවිය හැකි මානසික අසමතුලිතතා අවම කරගැනීම සඳහා ඔවුන් සමග විවිධ ක්‍රියාකාරකම්වල නිතරම නියැළෙන්න.

• නිවසේ කොවිඩ් රෝගියකු හෝ එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙක් සිටී නම් දරුවන් එම පුද්ගලයාගෙන් ඈත්කර තබන්න.

• පවුලේ කිසියම් අයෙක් නිවසින් පිටතට ගොස් ආපසු පැමිණි විගසම දරුවන් තුරුළු කරගැනීමෙන් හෝ සිප ගැනීමෙන් වළකින්න.

• දරුවන් තුළ කොවිඩ් රෝගයට අදාළ යම් රෝග ලක්ෂණයක් මතු වුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.