වාර්තාවන කොවිඩ් රෝගීන්ගෙන් සීයයට 17කට ඔක්සිජන් අවශ්‍යයි

May 11, 2021 at 9:00 PM

දැනට වාර්තාවන ආසාදිතයින්ගෙන් 25%ත්, 28% ත් අතර ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වන අතර, එයින් 17% ක පමණ ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය ඇතිවන බවට නිරීක්ෂණය වන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. එයින් 4% ක, 5% ක පමණ ප්‍රමාණයක් දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සිදුවන බව හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම මැයි මාසයේ ගෙවුණු දින දහයක කාලය ඇතුළත මෙරටින් කොරෝනා ආසාදිතයින් 20,384 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම කාලය තුළ සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 149 ක්.

මෙරට සිදුවූ දෛනික වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ මරණ 26 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගියා.

ඊයේ සිදුවූ මරණ 26න් 22 කටම හේතුවී තිබුණේ කොවිඩ් නිව්මෝනියාවයි. එම මරණ අතර මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය මාස 03 ක් වයසැති බිළිඳියක්ද වනවා.

මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ කියා සිටියේ බිළිඳියට වෛරසය ආසාදනය වූ ආකාරය සොයාගත නොහැකි බවයි.

මැයි මාසයේ ගතවූ දින 10 තුළදී පමණක් කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින් 149 දෙනා අතරින් 119 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන්. ගතවූ දින 04 තුළදී දෛනික කොරෝනා මරණ වාර්තා වූයේ දිනකට මරණ 15 ඉක්මවමින් වීම විශේෂත්වයක්.