රත්නපුර රෝහලේදී මියගිය කාන්තාවගේ දේහයට නිවසට රැගෙන ගියාට පසු කොවිඩ් ආසාදිතයෙකු බවට හෙළිවෙයි

May 10, 2021 at 9:13 AM

ප‍්‍රතිකාර ලබමින් සිට රත්නපුර ශික්‍ෂණ රෝහලේ දී මියගිය කුරුවිට පාතගම ප‍්‍රදේශයේ කාන්තාවකගේ සිරුර නිවසට රැගෙනවිත් පැය කිහිපයකට පසු පොලිසියේ සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් මැදිහත්ව එම සිරුර රාත්‍රියේම සැල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කර තිබෙනවා.

කොවිඩ් ආසාදිත කාන්තාව වෙනත් අසනීප තත්ත්වයකට රෝහලට ඇතුළත් කිරීමේ දී අන්ටිජන් පරීක්ෂාවක් සිදුකර තිබෙන අතර එහිදී ආසාදිත නොමැති බව තහවුරු වී ඇත. ඒ අනුව ඇය වාට්ටුවකට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබාදී තිබේ.

මේ අතර තුර ඇය මියගොස් තිබෙන අතර අනතුරුව මළසිරුරද PCR පරීක්ෂණයකට ලක්කර තිබෙනවා. කෙසේ නමුත් වාර්තාවේ ප්‍රථිපල පැමිණීමට පෙර හදිසි මරණ පරීක්‍ෂණයක් ද පවත්වා සිරුර අයිතිකරුවන්ට බාරදී ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

අනතුරුව සිරුර මල්ශාලාවකට භාරදී එහි කටයුතු නිමකර පාතගම, දුම්මලේගොඩ නිවසට රැගෙන යන අතර තුර ලැබුණු PCR වාර්තාවට අනුව ඇයට කොවිඩ් ආසාදිතව තිබුණ බව හඳුනා ගෙන තිබෙනවා.

අනතුරුව වහාම ක්‍රියාත්මක වී පොලිසිය මියගිය තැනැත්තියගේ ඥාතීන් දැනුවත් කර රාත‍්‍රීයේම සිරුර ආදාහනය කිරිමට කටයුතු කර තිබෙනවා.