සති 02ක සිට PCR පරීක්ෂණ 21,000ක් හිරවෙලා – මව්බිම පුවත්පත වාර්තා කරයි

May 10, 2021 at 10:23 AM

සති දෙකක පමණ කාලයක සිට ලබා ගෙන ඇති පී.සී.ආර්. සාම්පල අතුරින් 21,000කට අධික ප්‍රමාණයක පරීක්ෂණ කටයුතු අවසන් කර ගත නොහැකිව රසායනාගාර තුළ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ද දැන ගන්නට ඇත.

පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී සිට ඇති 21,000කට අධික පිරිසක් මෙම තත්ත්වය යටතේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් නිවෙස්වල පසුවන අතර මොවුන් අතරින් ඇතැම් පිරිස් කොරෝනා ආසාදිතව පසුවන බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට මෙසේ ගොඩගැසී ඇති පී.සී.ආර්. සාම්පල ඉදිරි සති දෙක ඇතුළත කඩිනමින් පරීක්ෂා කර වහා ම ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරිය සෞඛ්‍ය ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන් බවට වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා රසායනාගාර සේවා අධ්‍යක්ෂවරයා කැඳවා වහා ම මෙම පී.සී.ආර්. පරීක්ෂණ කර ප්‍රමාදයකින් තොරව නිකුත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් රසායනාගාර තුළ එක්රැස් වී තිබෙන පී.සී.ආර්. සාම්පල සති දෙකක් ඇතුළත පරීක්ෂා කර අදාළ වාර්තාව නිකුත් කරන ලෙසත් දැනුම් දී ඇත.

එම පරීක්ෂණ කඩිනමින් කිරීම සඳහා අදාළ රසායනාගාර නිලධාරීන්ට අතිකාල දීමනා හෝ විශේෂ දීමනාවක් හෝ ලබා දී සිදුවී ඇති ප්‍රමාදය මග හැරවීමට පියවර ගන්නා ලෙස දන්වා ඇති සෞඛ්‍ය ලේකම්වරයා ඉදිරි සති දෙක තුළ මෙසේ ගොඩගැසී ඇති පී.සී.ආර්. සාම්පල පරීක්ෂණ වාර්තා නිකුත් කර ඒ පිළිබඳව ප්‍රගති වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස ද රසායනාගාර සේවා අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දී ඇත.

(මව්බිම පුවත්පත ඇසුරෙන්)