රටම ලොක්ඩවුන් කිරීමේ තීරණයක් නැහැ : ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට ඉඩ තිබෙනවා – යුද හමුදාපති

May 10, 2021 at 4:00 PM

සමස්ත රටම වසා දැමීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ජනතාවගේ අත්‍යාවශය සේවා දිගටම පවත්වාගෙන යාමට බාධාවකින් තොරව පියවර ගන්නා බවත් ඉදිරියේදී කොවිඩ් මර්ධන එන්නත ජනතාවට ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව එක් කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර සේවයට කැඳවීමේ දී දිස්ත්‍රික් අතර සංචරණය හැකිතාක් අවමවන ලෙස කටයුතු කරන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා,

” අපි විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමා පසුගිය සතියේ විශේෂ නියෝගයක් නිකුත් කළා අවම සේවක සංඛ්‍යාවකින් තමන්ගේ සේවා ස්ථානය පවත්වාගෙන යන්න කියලා. හැකිතාක් දුරට වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණෙන අත්‍යවශ්‍ය නොවන සේවකයින් සිටිනවා නම් ඒ අය සේවයට වාර්තා නොකරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන්නැයි එහිදී අපි එතුමන්ට දැනුම් දුන්නා .

කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වීම නිසා හුදෙකලා කළ දිස්ත්‍රික්ක 04 ක පිහිටි පොලිස් වසම් 06 කට අයත් ග්‍රාම නිළධාරී වසම් 83 ක් මේවන විට (මැයි 10 දින) හුදෙකලා බවින් නිදහස් කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමෙ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියා.

මේ වන විට ආසාදිතයින් දිස්ත්‍රික්ක 15 කින් වාර්තා වෙනවා. එසේම මේ වන විට පොලිස් වසම් 05 ක් සම්පූර්ණයෙන් හුදෙකලා කර තියෙනවා. ඒ අනුව මාතලේ පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 102 ක්ද, දඹුල්ල පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 41 ක්ද, නාඋල පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 46 ක්ද, ගලේවෙල පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 59 ක්ද, පන්නල පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 63 ක්ද හුදෙකලා කර තිබෙනවා.

ඊට අමතරව තවත් පොලිස් වසම් 53 කින් ආසාදිතයින් වාර්තා වී ඇති නිසා එම පොලිස් වසම් 53 ට අයත් ග්‍රාම නිළධාරී වසම් 173ක් ද මේ වන විට හුදෙකලා කර තිබෙනවා යැයි යුද්ධ හමුදාධිපතිවරයා කීයා සිටියේ.