නිරෝධායන රීති උල්ලංඝණය කළ 456ක් අත්අඩංගුවට : ජංගම වෙළදාමේ යෙදුනු දෙදෙනෙකුටත් කොවිඩ්

May 9, 2021 at 8:40 AM

ගතවූ පැය 24ක කාලය තුල දිවයින පුරා පොලිසිය සිදු කළ මෙහෙයුම්වලින් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් හැසිරුනු පුද්ගලයන් 456 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුව ආවරණ නොපැළඳීම, සමාජ දුරස්ථ භාවය තබා නොගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.

පසුගිය ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 6,965ක් වනවා.

ඉන් 6000කට ආසන්න පිරිසකට අධිකරණවල නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

මේ අතර ඊයේ දිනයේදී බස්නාහිර පළාත තුල ජංගම වෙළඳාමේ නිරතවන පුද්ගලයන් 650 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගත් 114 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කර තිබෙනවා. ඉන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවටයි එහිදී අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම වෙරළ තීර, ළමා උද්‍යාන, පිහිනුම් තටාක ඇතුලු පොදු ස්ථානවල නිරෝධායන නීති පිළිපදින්නේ ද යන්න පිළිබඳ සොයා ඊයේ සෞඛ්‍ය බලධාරීන් සමග පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

එහිදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ පුද්ගලයන් 849 දෙනෙකුට අවවාද කර ඇති අතර 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් 32ක් නිරෝධායනයට යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙම මෙහෙයුම අද දිනයේදී ද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.