නිරෝධායන රීති කැඩූ පුද්ගලයින් 436ක් අත්අඩංගුවට

May 7, 2021 at 10:45 AM

නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව ඊයේ දිනයේදී පුද්ගලයින් 436 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් 101ක් දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව සහ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදීය.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

නිරෝධායන රෙගුලාසි යටතේ බස්නාහිර පළාත තුළ ජංගම වෙළෙඳුන් 187 දෙනෙකු සහ විවිධ ආයතන 852ක් ද පරීක්ෂාවට ලක් කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන, උපකාරක පන්ති, ගෘහස්ථ ක්‍රීඩා ස්ථාන, ආපනශාලා එලෙස පරීක්ෂා කර තිබෙනවා. එම පරීක්ෂාවලින් නිරෝධායන උපදෙස් කඩකළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් පුද්ගලයින් 14 දෙනෙකු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත. අදාළ මෙහෙයුම් අද දිනයේ ද ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.