දැන් හිතෙනවා අපි මීට වඩා පරිස්සම් විය යුතුව තිබුණා කියලා :පවුලේ සියලු දෙනාටම කොවිඩ් ආසාදනය වූ පුද්ගලයෙකු තැබූ සමාජ මාධ්‍ය සටහන

May 7, 2021 at 3:51 PM

සිය මුළු පවුලටම කොරෝනා වෛරසය ආසාදනය වී දැනට ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයෙකු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ තබා තිබු සටහනයි මේ…

පරිස්සමෙන් මගේ යාළුවනේ….

කෝවිඩ් හැදිලා ඉස්පිරිතාලෙ ඇඳක් උඩ ඔක්සිජන් මාස්ක් එකක් මූණට සවිකරගෙන තනිවෙලා ඉන්න ගමන් මේ සටහන ලියන්නෙ. මගේ බිරිඳ එක වාට්ටුවක. මගෙ දියණියන් දෙදෙනෙක් තවත් වාට්ටුවක. අද උදේ මගේ ඉදිරිපස ඇඳේ හිටපු රෝගියා මියගියා. මට තාමත් ඇහෙනවා ඔහු මියයාමට මොහොතකට පෙර “සුදු හාමිනේ මට අමාරුයි” කියලා ඉතාම අමාරුවෙන් කෑගහපු හැටි.

මගේ දකුණු පැත්තෙ හිටපු රෝගියත් දැන් පැයකට කළින් මියගියා. තාමත් ඔහුගේ මෘත දේහය ඉවත් කරලත් නෑ. තවත් අය ජීවිතේ බේරගන්න පුදුම සටනක් කරනවා. රෑ තිස්සෙම රෝගීන්ගේ කෙඳිරි ගාන සද්ධ, අඳෝනා, විලාප අහගෙන ඉන්න අමාරුයි.

මේ ලෙඩේ සෙල්ලමක් නෙවෙයි. මේකෙ අමාරුව දන්නවනම් තමුන්ගේ පවුලට දරුවන්ට ආදරේ නම් කිසිම කෙනෙක් සෞඛ්‍ය නීති කඩ කරන්නෙ නෑ. මුව ආවරණ නැතිව ගෙදරින් එළියට අඩියක් තියන්නෙ නෑ. නොසැලකිලිමත් ලෙස කටයුතු කරන්නෙ නෑ. මට උනත් දැන් හිතෙනවා අපි මීට වඩා පරිස්සම් විය යුතුව තිබුණා කියලා. අවසන් වශයෙන් කියන්නේ පරිස්සම් වෙන්න. ”