මාර්ග තදබදය ගැන සොයා බලන්න ඩ්‍රෝන කැමරා තාක්ෂණය එයි

May 6, 2021 at 2:50 PM

මාර්ග තදබදයට විසඳුමක් ලෙස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. මාර්ග තදබදයට හේතු දෙකක් පවතින බවත් එකක් මාර්ගවල ධාරිතාව ඉක්මවා වාහන මාර්ගයට පැමිණීම බවත් දෙවැන්න අපරික්ෂාකාරී ධාවනය බවයි ඔහු සඳහන් කළේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව තාක්ෂණය භාවිතයෙන් මේ සඳහා විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය අද (06දා) හයිලෙවල් මාර්ගයෙන් ආරම්භ කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

ගුවන් හමුදාවේ සහාය අනුව ඩ්‍රෝන කැමරා ඈත ප්‍රදේශයකට යවා වාහන ගමනා ගමනය පිළිබඳව තොරතුරු රැස්කරගෙන ඒ හරහා වාහන ධාවනය විධිමත් කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

ඉදිරියේදී මාර්ග තදබදය වැඩියෙන් අති නුවර පාර , පාර්ලිමේන්තු පාර යන පාරවල්වලට මෙම තාක්ෂණය යොදා ගන්නා බවත් රථවාහන පොලීසිය, ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේ.