හඳුනා ගත් රෝගීන්ට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකියි : රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අනතුරු අඟවයි

May 6, 2021 at 12:16 PM

මේ වනවිට මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා වෙමින් ඇති බවත් කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. රාජ්‍ය අමාතවරිය සඳහන් කළේ හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවයි.

තවද PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වාර්තා පැමිණෙන තුරු නිවසින් එළියට නොගොස් නිවසට ම වී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දෛනිකව විශාල PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරන බැවින් වාර්තාවල යම් ප්‍රමාද ඇති බවට වාර්තා වන බවයි ඇය සඳහන් කළේ.

තවද ඉදිරි සති 2-3 තුළ අනවශ්‍ය ගමන් බිමන් නොගොස්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අවදානම් මොහොතේ රට වෙනුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා වගකීම ඉෂ්ට කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

එසේ නොමැති වුවහොත් රෝගය වේගයෙන් පැතිර යන මේ මොහොතේ පාලනය කිරීම අසීරු විය හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පවතින තත්ත්වය යටතේ පිටරට සිට මෙරටට පිරිස් ගෙන්වා ගැනීම සීමා කිරීමට සිදු වන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලත් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා අවශ්‍යව ඇති බැවින් පසුගිය සමයේ මෙන් පිටරටවල සිට විශාල පිරිසක් පැමිණිය හොත් ඔවුන් නිරෝධායනය කිරීමේ දී ගැටලු පැන නගින බවයි ඇය මෙහිදී අවධාරණය කර සිටියේ.

මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුතුව ඇත්තේ මෙරට රෝගීන් ප්‍රතාකාර සඳහා බව ද ඇය සඳහන් කර සිටියා.

මේ අතර ගෙවණු දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1939ක් වන අතර වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 14කි.