කුසල් මෙන්ඩිස්ට එරෙහිව අපහාසාත්මක ලිපි පළකිරීම වළක්වාලමින් පුවත්පතකට වාරණ නියෝගයක්

May 5, 2021 at 7:32 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව අපහාසාත්මක ලිපි පළ කිරීම වළක්වාලමින් පුවත්පතකට එරෙහිව කොළඹ දිස්ත්‍රික් අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් තමන්ට සිදුවූ අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 600ක වන්දියක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කළ අතර තමන්ට එරෙහිව සිදුකරනු ලබන අපහාසාත්මක ප්‍රකාශන වැළැක්වීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

ඔහු සම්බන්ධ වූ මෝටර් රථ අනතුරු පිළිබඳ කරුණු සඳහන් කරමින් විත්තිකරුවන් විසින් ඔහුට එරෙහිව 20201 මාර්තු 26 සහ 2021 අප්‍රියෙල් 16 යන දිනවල විශේෂයෙන් අපහාසාත්මක ලිපි කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇති බව කුසල් මෙන්ඩිස් විසින් අධිකරණය හමුවට පෙත්සමක් ගොනු කරමින් සඳහන් කර සිටියා.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කොළඹ අතිරේක දිසා විනිසුරු, සඳුන් විතාන විසින් පැමිණිලිකරුට එරෙහිව අපහාසාත්මක ලිපි පළ කිරීම වළක්වාලමින් විත්තිකාර පාර්ශවයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසියක් ද නිකුත් කරන ලදී.

කුසල් මෙන්ඩිස් වෙනුවෙන් නීතිඥ සන්ජේ ෆොන්සේකාගේ උපදෙස් මත නීතිඥවරුන් වන නිෂාන් සිඩ්නි ප්‍රේමතිරත්න, ප්‍රවී කරුණාරත්න, ක්‍රිෂාන් ප්‍රනාන්දු පුල්ලේ පෙනී සිටියා.

මෙම නඩුව 2021 මැයි 19 වන දින නැවත අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.