පාස්පෝට් 02ක් ගත් බවට මන්ත්‍රී ඩයනා ගමගේට එරෙහිව පරීක්ෂණයක්

May 4, 2021 at 8:13 AM

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් රාජකාරි ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ලබාගෙන මෙරට නීතිරෝධීව රැඳී සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් පිළිබඳව අධිකරණයට කරුණු වාරතා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් කිරීම වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මේ බව දන්වා තිබේ.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් අනිල් හේරත් නමැති අය විසින් මේ සම්බන්ධයෙන් වූ ලිඛිත පැමිණිල්ලක් 2020 නොවැම්බර් 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම සිද්ධියට අදාළ කරුණු වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් වාර්තා ලබා ගැනීමට ඉල්ලීමක් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

(අරුණ පුවත්පත)